කවදහරි මගේ ඇස් පියවෙන්න කලින් මගේ දරුවාව ආයෙත් දකින්න ලැබෙන්න කියලා තමයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ – බාලේන්ද්‍රන් ජෙයකුමාරි

Balendran jeyakumary 3 ed

මට හිටියේ පුතාලා තුන්දෙනයි දුවයි. මහත්තයායි ලොකු පුතාලා දෙන්නයි යුද්දේ නිසා මැරුණා. 2009 අවුරුද්ද වෙද්දී පොඩි පුතා සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදර හිටියේ. ගෙදර වියදම සැර නිසා පොඩි පුතා ගෙදරින් ගියේ මොකක්හරි රස්සාවක් හොයාගන්න හිතාගෙන. එහෙම ගියපු මගේ දරුවා අද වෙනකම් ගෙදර ආවේ නෑ. පාරවල් පාරවල් ගානේ ඇවිද ඇවිද මං මගේ දරුවාව හෙව්වා. එතකොට සමහරු කිව්වා පුතා ඉන්නවා දැක්ක කියලා. ඊටපස්සේ පුතාගේ පිංතූරයක් පෙන්න පෙන්න අපි පුතා ගැන හැමෝගෙන්ම ඇහුවා. එතකොට මුණගැහුණ කතෝලික පියතුමෙක් කිව්වා මගේ පුතාව හමුදාවෙන් අරන් යනවා දැක්කා කියලා. තවත් සමහරු කිව්වා අඹේපුස්ස හමුදා කෑම්ප් එකේ පුතා ඉන්නවා කියලා. ඒත් හමුදාවෙන් ගෙනියපු නිසා පුතා ආයේ එයි කියලා අපි වැඩි බලාපොරොත්තු තියා ගත්තේ නෑ.
රජයේ පුනරුත්ථාපන කඳවුරක ඉන්න ළමයින්ගේ පින්තූරයක මගේ පුතා ඉන්නවා මං ඇස් දෙකෙන්ම දැක්කා. මට මැරිලා ඉපදුණා වගේ සතුටක් මට දැනුණේ. ඔය කාලේ ම වව්නියාවේ 4 වෙනි කලාපයෙන් පුනරුත්ථාපනයට අරන් ගිය අයගේ නම් ලැයිස්තුවක් පළ කළා. ඒ නම් අතරේ බාලේන්ද්‍රන් මහේන්ද්‍රන් කියලා මගේ පුතාගේ නමත් තිබුණා. ඉතින් මං ආයෙත් මගේ දරුවා හොයන්න පටන් ගත්තා. වගකිව යුතු හැමෝටම කිව්වා. රජයේ ලොකු ලොකු තැන්වලට මගේ ප්‍රශ්නය දන්වලා ලියුම් දුන්නා. ගිනි අව්වේ උද්ඝෝෂණවල කර වෙවී බෝඩ් උස්සාගෙන මගේ දරුවා වෙනුවෙන් යුක්තිය ඉල්ලුවා. ඔය අතරේ අඹේපුස්ස කෑම්ප් එකෙන්, පොලීසියෙන්, හමුදාවෙන්  හැමතැනින්ම ඇහුවා. ඒ හැමෝම කිව්වේ හොයලා වැඩක් නෑ අතෑරලා දාන්න කියලා.
අන්තිමට 2014 එල්.ටී.ටී.ඊ. අය ගෙදර තියන් ඉන්නවා කියලා බොරු චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාව හිරේ දාලා මගේ දුව පරිවාස භාරෙට ගත්තා. අවුරුද්දකට පස්සේ මාව ඇප මත නිදහස් කළා. ඒත් තවමත් පොලීසියෙන් හමුදාවෙන් නම් අපිට නිදහසක් නැහැ. CID එකෙන් මගෙන් ප්‍රශ්න කරපු විදියට මට සහතිකයි තවමත් මගේ දරුවා ඉන්නවා කියලා.  අපේ ළමයි හිරකරගෙන ඉන්න එකෙන් ආණ්ඩුවට ලැබෙන ලාබේ මොකක්ද?
කවදහරි මගේ ඇස් පියවෙන්න කලින් මගේ දරුවාව ආයෙත් දකින්න ලැබෙන්න කියලා තමයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ.
 
බාලේන්ද්‍රන් ජෙයකුමාරි
කිලිනොච්චි

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *