අපිට ඉන්නේ දුවලා තුන්දෙනෙක්. එදා 2007 ජනවාරි 08 වෙනිදා. ඒ වෙනකොට පොඩි දුවගේ වයස අවුරුදු 02 යි. උදේ ඉඳන් දුවත් එක්ක සෙල්ලම් කර කර ඉඳලා මහත්තයා (නඩරාසා පෙරම්බරාසා) දවල් 1 ට විතර ගෙදරින් පිටත් වුණේ වව්නියාවට ගිහිං එන්නම් කියලා. මේ ගෙදර හදන්න ණයක් අරන් තිබුණේ. ඒ ණය වාරිකයත් ගෙවලා පෝරත් අරන් එන්නම් කියලා එහා ගෙදර මල්ලිත් එක්ක මෝටර්සයිකලෙන් එයා ගියේ. ඒ වැඩ ටික කරගෙන ගෙදර එන අතරතුර ඊච්චම්කුලම් – කල්මඩු අතර මැද තමයි එයාලාව පැහැරගෙන තියෙන්නේ. ඒ කාලේ කල්මඩුවේ ඉදන් මීටර් 300 න් 300 ට චෙක් පොයින්ට් දාලා තිබුණා. චෙක් පොයින්ට් දෙකක් අතර මැදදී තමයි එයාලාව පැහැරගෙන තියෙන්නේ. හවස තුන පහුවෙලත් ගෙදර ආවේ නැති නිසා අපි හොයන්න පටන් ගත්තා. හමුදා කෑම්ප් එක ළඟට වෙනකම් එයාලා බයිසිකලෙන් එනවා ගමේ කට්ටිය දැකලා තියෙනවා. අහපු හැමෝම කිව්වේ අන්තිමට දැක්කේ එතැනදි කියලා. ඒ වෙලාවේ මගේ අක්කාත් පාරේ ඉඳලා තිබුණේ. එයාත් දැකලා තියෙනවා මහත්තයා එනවා. ඒ වෙලාවෙම ඒ පැත්තට සුදු වෑන් එකකුත් ඇවිත් තියෙනවා.
මං පොලීසියට ගිහිං මගේ මහත්තයා අන්තිමට දැකපු තැන චෙක් පොයින්ට් එකේ හිටිය කෙනාගේ නමත් කියලා පැමිණිල්ලක් දැම්මා. මම හැමතැනම මහත්තයාව හෙව්වා. අතුරුදහන් කරපු අය වෙනුවෙන් අරගල කරන්න කොළඹ පවා ගියා. ඒ අතරේ හමුදාවේ කෙනෙක් මට කිව්වා පැහැරගෙන ගිය අයව කතරගම කැළයක් ඇතුළේ තියන් ඉන්නවා කියලා. CID එක සැරින් සැරේ ඇවිත් අපෙන් ප්රශ්න කළා. ඒ අය නම් කිව්වේ අමතක කරලා දාන්න කියලායි. ඒත් කොහොමද එහෙම අමතක කරන්නේ?
මෙහේ මේ විදිහට අඬන්නේ අපි විතරක් නෙවෙයි. යුද්ධෙන් පස්සේ පුනරුත්ථාපනයට ඕමන්තේ කඳවුරට 400 ක් විතර භාර වුණා. ඒ මිනිස්සු ගියේ ආයේ ඇවිත් නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන. ඒත් ඒ කිසි කෙනෙක් ආයේ ආවේ නෑ. මෙහෙ හැම ගෙදරම කවුරුහරි අතුරුදහන්. කිසි කෙනෙක් ඒ අයට මොකද වුණේ කියලා කියන්නේ නෑ. ඒ ගැන අහනවට, අරගල කරනවට පොලීසියෙන් විරුද්ධයි. මරණ සහතිකෙයි වන්දි මුදලයි අරන් පැත්තකට වෙනවානම් හැමෝම කැමතියි.
ඒත් මැරුණාද කියලා නොදන්න කෙනෙක්ට අපි මරණ සහතික ගන්න ඕනේ ඇයි ?
පේර්ඉන්බරාසා පේරේශ්වරී
ඊච්චම්කුලම්, වව්නියා
