Malaiyaha Tamil People

මලෛයහ දෙමළ ජනයා

කඳුකර දෙමළ ජනයා 1956 න් ඇරඹි 1958, 1972, 1977, 1983 හරහා දියත් වූ රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයෙහි මූලික ගොදුරක් බවට පත් වූහ.

සන්දර්භය

“බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ශ්‍රී ලංකාවේ වැවිලිකරයේ සේවය කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ජනයා රැගෙනවිත් 2023 ට වසර 200ක් සපිරිණි. 19 වන සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දියාවේ පැතිර ගිය සාගතය සහ දුක්ඛිත ජීවන තත්වය එම ජනයාට බ්‍රිතාන්‍ය විජිතවාදීන්ට අර්ධ වහල් කොන්දේසි යටතේ සේවය කිරීමට බල කරන ලදී. 21 වන සියවස වනවිටත් ඔවුන් සැබවින්ම ඡන්දය ප්‍රකාශ කළ හැකි වහලුන් පිරිසක් මිස අන් කිසිත් බවට පත්ව නැත. කඳුකර දෙමළ වතු කම්කරු ජනයා හෙළා ඇති ඉරණම ලංකාවේ දීර්ඝතම පීඩිත ඉතිහාසය යි.”

යටත් විජිත ධනවාදයේ කොඳු නාරටිය වතු ආර්ථිකය යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ වූ විශාලතම සුබසාධක රාජ්‍ය වන ශ්‍රී ලංකාව ගොඩනඟන ලද්දේ කඳුකර දෙමළ වතු කම්කරුවන්ගේ ශ්‍රමයෙනි. බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනංවා පුළුල් කරන ලද ජනපදකරණ ව්‍යාපෘති, විශාල රාජ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අතිරික්ත ධනය නිෂ්පාදනය කරන ලද්දේ වැවිලිකරයේ සේවය කළ කඳුකර දෙමළ ජනයා විසිනි. එහෙත් එකී සුබසාධක රාජ්‍යයේ ප්‍රතිලාභ ඔවුන් හැර අන් සියලු ප්‍රජා කණ්ඩායම්වලට හිමි විය. 

1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට නිදහස ප්‍රදානය කිරීමෙන් පසු දේශීය පාලකයන්ගේ පළමු පියවර වූයේ 1948 සහ 1949 පුරවැසි පනත් හරහා කඳුකර දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහෝසි කිරීම යි.  1949 වසරේම බලාත්මක කරන ලද ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) සංශෝධන පනත විසින් ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1952 මහ මැතිවරණයේදී කඳුකර දෙමළ ජනයා නියෝජනය කරමින්  කිසිදු නියෝජිතයෙකු තේරී පත් නොවීය. 

1954 නේරු-කොතලාවල ගිවිසුම,  1974 සිරිමාවෝ – ගාන්ධි ගිවිසුම ආදි දෙරට අතර ගිවිසුම් කිහිපයක් හරහා එම ජනයාගේ පුරවැසි භාවය පිළිබඳ ගැටළුව විසඳ බවට උත්සහ කළ ද ඒ සියල්ල මඟින්ම සිදු වූයේ ඔවුන්ට තව දුරටත් පුරවැසි භාවය අහිමි කිරීම පමණි. 1964 දී අත්සන් කළ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම හේතුවෙන් කඳුකර දෙමළ ජාතිකයන් 150,000 ක් කිසිදු රටකට අයිති නැති තත්වයට පත් කරන ලදී. පුරවැසි භාවය ලබා දීමේ ගිවිසුම් නිසා කඳුකර දෙමළ ජනයාගේ පවුල් කැඩී වෙන් වූ අතර ඔවුන්ව බලහත්කාරයෙන් පිටුවහල් ලරන ලදී. අවසානයේ සියලු කඳුකර දෙමළ ජනයාට පුරවැසි භාවය හිමි වූයේ නිදහස ලැබීමෙන් වසර 55කට පසු 2003 දී සම්මත කරන ලද ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ලබා දීම (සංශෝධන) පනත හරහාය.

කඳුකර දෙමළ ජනයා 1956 න් ඇරඹි 1958, 1972, 1977, 1983 හරහා දියත් වූ රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වයෙහි මූලික ගොදුරක් බවට පත් වූහ. කඳුකර දෙමළ ජනයාගේ වසර 200ක වහල්භාවය රාජ්‍යයේ වර්ගාමික ස්වභාවය විසින් නිර්මාණය කරන ලද්දකි. එම ජනයාට සදාකල් උරුමව ඇති අන්ත දරිද්‍රතාවය සහ සමාජ දේශපාලන පරිහානි රාජ්‍ය සැකැස්මෙහි ගැටළුවකි. එහෙයින් ඊට අවශ්‍ය සක්‍රීය දේශපාලන මැදිහත්වීම් මිස සානුකම්පිත ආස්ථාන නොවේ.


නව එකතුවීම්

අප සමඟ එක්වන්න

ප්‍රදර්ශන ගැලරිය

නිශ්ශබ්දතා හරහා දෘශ්‍ය ගමනක් : ඡායාරූප ලේඛනාගාර UNCOVER 2024