මට දරුවෝ හයක් ඉන්නවා. වැඩිමහල් පුතා මගධකාසන් මහේන්ද්‍රන්. එයා කළේ විදුලි කාර්මික වැඩ. පුතාට එතකොට වයස අවුරුදු විසි හතයි. ඒ 2007 පෙබරවාරි මාසේ. යාළුවෙක්ගේ මඟුල් ගෙදරකට උදව් වෙන්න හවස 1.30ට වගේ මෝටර් සයිකලෙන් පුතා පිටත් වෙලා ගියා. ගොඩක් වෙලා ගිහිල්ලත් පුතා ආවේ නැති නිසා අපි දිගටම කෝල් ගත්තා. කිසිදම ප්‍රතිචාරයක් නැති නිසා අපි පුතාව හොයන්න පටන් ගත්තා.
හමුදාව මගේ පුතාව අත් අඩංගුවට අරගෙන ගියා කියලා අපි දැනගත්තා. ඉස්කෝලේ ඉවර වෙලා පාරේ යමින් හිටිය ළමයිනුත් පුතාව හමුදාවෙන් අරන් යනවා දැකලා තියෙනවා. මම මගේ පුතා හොයන්න යන්න පුළුවන් හැමතැනකටම ගියා. අපි පොලිසියේ පැමිණිල්ලක් දැම්මත් කිසිම උත්තරයක් නැහැ. හමුදාවෙන් අරගෙන ගියේ නැහැ කියනවා. මම පුතා කොහේද ඉන්නේ කියලා බලන්න සාස්තර ඇහුවා, පුතාව බිල්ලකට දීලා කියලා කිව්වා.
අපි හැමදාම ජීවත් වෙන්නේ පුතා ගැන හිත හිතා. හැමදාම පුතාගේ පින්තූර බල බලා මම අඬනවා. මගේ පුතා කොහේහරි තනියම ඇති, අපි මෙහේ එයා ආයේ ගෙදර එනකම් බලාගෙන ඉන්නවා. අතුරුදහන් වුණ අයට මරණ සහතික දෙනවා කියලා රජයෙන් කියනවා. ඒත් මගේ පුතා මැරිලා ඉන්නවා දකින්නේ නැතුව මම මරණ සහතික ගන්නේ නැහැ. මගේ පුතා කවදා හරි ආපහසු එයි කියලා මම විශ්වාස කරනවා.
මහේන්ද්‍රන් විජේකුමාරි
රාසේන්ද්‍රකුලම්
