අපේ ගමට ඉස්සර කිව්වෙ පනහට පනහේ ගම කියලා.දෙමළ සිංහල දෙගොල්ලෝ එකට හිටියා. ඒ යුද්ධයේ දරුණුම කාලය. STF එකෙන් අපේ ගමට වෙඩි තියාගෙන ආවා දෙමළ ගමක් කියලා හිතලා. අපේ අක්කාගේ ගේ ගිනි තිබ්බා. අක්කාගෙ මහත්තයා දුවද්දි බෝම්බයක් ගහලා, වෙලාවට ඒක පත්තුවෙලා නැහැ. ගෙදරක බුදුපිළිමයක් දැකලා තමයි මේ ගම සිංහල කියල දැනගෙන තියෙන්නේ. මගේ අයියා බැන්දේ දෙමළ කෙනෙක් කියලා දැනගෙන පොලිසියෙන් මගේ අයියාව අතුරුදහන් කළා.
යුද්ධය නිසා අපි ගමටම කොටු වුණා. ඉඩම්වල කැලේ වැවිලා සීමා මායිම් හොයාගන්න බැහැ. අපේ ඉඩම් තිබුණේ නාවික හමුදාවේ කඳවුර තියෙන හරියේ. 1989න් පස්සෙ වගේ අපි මේ ඉඩම්වල වගා කරන්න ගියේ නැහැ. 2009 යුද්ධය ඉවර වුණාට පස්සේ අපි ගියා ඉඩම්වලට. එතකොට තමයි නාවික හමුදාවෙන් බෝඩ් ගහලා තිබුණා ‘නාවික හමුදාව සතු ඉඩමකි. ඇතුල්වීම තහනම්’ කියලා. ඒ කාලේ සුදු වෑන් තිබුණා. මිනිස්සු අතුරුදහන් වුණා. ඉතින් මිනිස්සු බය වුණා අරගල කරන්න.
ග්‍රාමසේවක මහත්තයා කිව්වා අපේ ඉඩම්වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. අපේ පවුලේ ඔක්කොටම බලපත්‍ර තිබුණා. ඉඩම් බලපත්‍ර තියෙන අය 64 ක් ඉන්නවා. බලපත්‍ර නැති අය 350ක් ඉන්නවා. වාර්ෂික අවසර පත්‍ර තියෙන අයත් ඉන්නවා. සමහර අයගේ බලපත්‍ර පිච්චිලා. සමහර ඒවා ග්‍රාමසේවක දෙන්නේ නැහැ. අපේ පවුලේ විතරක් බලපත්‍ර ඉඩම් අක්කර 20ක් විතර තියෙනවා. කඳවුර හදන්නේ අපේ ඉඩම් වලට පිටිපස්සෙන් කියලා අපිට පොරොන්දු වුණා. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා, නිලධාරීන් කියනවා අපේ ඉඩම්වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. නමුත් ටිකෙන් ටික ඉදිකිරීම් වෙලා අන්තිමට සම්පූර්ණයෙන්ම කඳවුර හැදුවා.
යුද්ධයෙන් පස්සේ සමහරුන්ට තමන්ගේ ඉඩම්වලට යන්න පුළුවන් වුණා. යුද්ධය තියෙන කාලේත් එයාලා ඉඩම්වලට ගිහින් වගා කළා. පස්සේ හමුදාව එයාලාට ගහලා ගෙවල් ගිනි තියලා පන්සලත් කඩලා ගිනි තිබ්බා.
STF කඳවුරට බලපත්‍ර තියෙන ඉඩම් ගත්තා. එතකොට එතැන තවලම පදනමෙන් කියලා ගෙවල් 70 ගණනක් හදලා ගම්මානයක් හැදුවා. STF එක ඒක පුහුණු කදවුරක් කරන්න අර ගෙවල් ටික අයින් කළා. අයින් වුණේ නැති අයව බලෙන් අයින් කළා. ඒ අය පස්සේ හොරෙන් තමන්ගේ ඉඩම්වලට යන්න ගත්තා. අපි අරගලය පටන්ගත්තා. දේශපාලකයෝ හමුදාව ඇවිත් අපිට යන්න කිව්වාට අපි අයින් වුණේ නැහැ. තවලම ගමේ කණ්ඩායමත් අපි එක්ක හිටියා. අපි මාස තුනක් එතැන හට් එකක් ගහගෙන හිටියා.
ගුවන් හමුදාවෙන්, නාවික හමුදාවෙන්, STF එකෙන් මේ ඔක්කොම ඉන්නෙ මිනිස්සුන්ගෙ ඉඩම්වල. 2015 පෙබරවාරි 15 කැබිනට් තීන්දුවක් දුන්නා ඉඩම් ටික නිදහස් කරන්න කියලා. තාම කිසිම දෙයක් වුණේ නැහැ.
මෙහේ ඉන්න අනිත් මිනිස්සු දන්නවා මෙතැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. තාමත් එයාලට මේල වුණේ නැති නිසා ප්‍රශ්නය දැනෙන්නෙ නැහැ. එයාලාටත් ඒ ප්‍රශ්නය ආව දවසට තමයි හිතෙන්නෙ අපි අරගල කළේ ඇයි කියලා.
අශෝකා දයානි
පානම
