අපේ ඉඩම් නිදහස් කරන්න කියලා කඳවුරේ ගේට්ටුව ඉස්සරහ කරපු උද්ඝෝෂණවලට හමුදාව ගොඩක් බාධා කළා – විවේකානන්දම් ඉන්ද්‍රානි

Vivekananthan Indrani LG

යුද්ධය කාලේ මේ ගමේ ඉතුරු වුණ හැමෝම හමුදාවේ දැනුම් දීම අනුව මුල්ලිවායික්කාල් ගියා. 2009 සැප්තැම්බර් 14 අපි හමුදාවට භාර වුණා. සෑහෙන තදබදය තිබුණ කඳවුරු ඇතුළේ ජීවත් වුණු අපට මූලික අවශ්‍යතා සඳහා පවා පෝලිමේ ඉන්න වුණා. කඳවුරුවල හිටපු අපිව ආපහු කේපාපිලව් අරගෙන ආවා. ඊටපස්සෙ හමුදාව කිව්වා අපේ ඉඩම් තාමත් අයිති ඒගොල්ලන්ට, ඒ නිසා අපිට තවදුරටත් කඳවුරුවල ඉන්න කියලා. ගමේ මිනිස්සු ඒ අදහසට විරුද්ධ වුණත් කිසිම දෙයක් කරන්න බැරි වුණේ හමුදාව අතේ බලය තියෙන නිසා. හමුදාව අපිව සූරියපුරම්වල බලහත්කාරයෙන් ලියාපදිංචි කෙරුවා. 

යුද්ධය කාලේ ජීවිතේ ගැන නම් බයක් තිබුණා තමයි, හැබැයි අපි සාමකාමීව සතුටින් ජීවත් වුණා. අපේ ඉඩම හමුදාව අල්ලන් ඉන්න විදිය දකිද්දී ලොකු දුකක් හදවතට දැනෙන්නේ. මගේ මහත්තයට අවුරුදු 65 දීත් රස්සාවක් කරන්න සිද්ධ වෙලා. අපේ අක්කර දෙකේ ඉඩම වගාකරලා, අස්වැන්න එකතු කරගන්න පුළුවන් වුණා නම් මේ වයසේදී අපි විවේකයෙන් ඉන්නවා.  අපේ ඉඩම්වල හොඳට සරුසාරෙට පොල් ගස්, අඹ ගස්, කොස් ගස් තියෙනවා. ඒ අස්වැන්න හමුදාව එකතු කරගන්නවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක්. හමුදාව අපේ ඉඩම් අපට දීලා තිබුණා නම් අපිට වගා කරගන්න තිබුණා. 

ජීවිතෙන් භාගයක්ම යුද්ධය මැද, කඳවුරු ඇතුළේ ගෙවිලා ගියා. මගේ ලොකු දුව විවාහ වෙලා මාස 3කට පස්සෙ එයාගෙ සැමියා හමුදාවට භාර වුණා. ඊටපස්සෙ ඔහු අතුරුදහන්. මගේ දුව එයාගේ මහත්තයා අතුරුදහන් වුණාට මානසික රෝගියෙක් වුණා.  හැමදේම වුණාට පස්සේ අපේ ජීවිත විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපිට තව නැති වෙන්න දෙයක් නැති නිසා අපි 2017 මාර්තු ඉඳලා රජයට එරෙහිව විරෝධතා පටන් ගත්තා. 

ධීවර රස්සාව කරන මිනිස්සුන්ගේ ජීවනෝපායට අත්‍යාවශ්‍ය කළපුව ආශ්‍රිතව තියෙන එයාලාගේ ඉඩම්, කෘෂිකාර්මික ඉඩම්, ඉස්කෝල, පල්ලි, හින්දු කෝවිල්, සමූපකාර, ක්‍රීඩාංගණ, පොදු ළිං, ප්‍රජා ශාලා, සුසාන භූමි තියෙන ඉඩම් තවමත් හමුදාව අල්ලගෙන ඉන්නවා. අපේ ඉඩම් නිදහස් කරන්න කියලා කඳවුරේ ගේට්ටුව ඉස්සරහ කරපු උද්ඝෝෂණවලට හමුදාව ගොඩක් බාධා කළා. අපිට වතුර ගන්න පවා දුන්නේ නැහැ.

විවේකානන්දම් ඉන්ද්‍රානි 
කේපාපිලව්, මුලතිව්

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *