මයිලත්තමඩු, මාදවනෛ ප්‍රදේශයේ ගවයෝ ලක්ෂ හතරහමාරක් සහ ගොවීන් 3200ක් හිටියා. මිනිසුන් 3200 ක් මෙහේ ජීවත් වුණා, ඒකෙන් 980 ක් ගොවියෝ. ඉතිරි අය ගොවීන්ගේ සේවකයෝ විදියට පඩි ලබන අය. 2011 අවුරුද්දේ ඉඳලා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරංගන්විල, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල සිංහල මිනිස්සු මේ ප්‍රදේශ අල්ලගෙන පදිංචි වෙන්න පටන් ගත්තා. තෘණ භූමි විදියට නීත්‍යානුකූලව වෙන්කර තිබුණ තණබිම් මේ සිංහල පදිංචිකරුවන් ආක්‍රමණය කරලා තියෙන්නේ. එයාලා කැලේට, තණබිම්වලට ගිනි තියනවා, අපේ ගවයන්ව මරනවා, අපිටත් ගහනවා. මේ පදිංචි වෙලා ඉන්න ගොඩක් අය හමුදාවෙන් විශ්‍රාම ගිය අය. නැත්නම් හමුදාව හැර ගිය අය. මහවැලි අධිකාරිය එරාවුර් අධිකරණයේ සහ මඩකලපුව අධිකරණයේ නඩුවක් ගොනු කළා. එයාලා ගොවීන්ට තර්ජනය කරලා ගොවීන්ගේ ජීවනෝපාය අඩාල කරන්න ගොඩක් දේවල කළා. ගෙවල් කඩලා ගොවීන්ව මයිලත්තමඩුවෙන් එලෙව්වා.
මේවා නවත්තන්න අපි එක එක දේවල් උත්සහා කළා. ඒ එකක්වත් හරි ගියේ නැහැ. 2020 දෙසැම්බර් 10, ඒ කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දවසේ ගොවීන් සහ නීතිඥවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා මඩකලපුව මහාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. ඒ රිට් පෙත්සම හරහා අපිට යම් සහනයක් ලැබුණා. සිංහල පදිංචිකරුවෝ ඉවත් කරන්න රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ කියලාත් නඩුවක් පැවරුවා. ඒ නඩුවේ තීන්දුවත් එක්ක මහවැලි අධිකාරිය සිංහල පදිංචිකරුවන් ඉවත් කරන්න එකඟ වුණා.
2023 නවවැනි මාසයේ අපි විරෝධතාව ආරම්භ කළා. මේ වෙනකොට දවස් 211ක් පුරා අපේ අරගලය කරගෙන යනවා. 2024.03.24 දා මහවැලි අධිකාරියේ අමාත්‍යවරයා අපිට කතාකරලා අපේ ප්රශ්නය මොකක්ද කියලා ඇහුවා. අපි අපේ ඉල්ලීම් කරුණු නවයක් විදියට බාර දුන්නා. එයාලා අපෙන් අන්තිමට ඇහුවේ අපි අපේ විරෝධතා කූඩාරම කඩලා අයින් කරගන්නේ කවදාද කියලා. මේ වෙනකොට ගවයෝ 4800ක් මරලා දාලා තියෙනවා. මේ නිසා අපේ කිරි නිෂ්පාදනය සියයට 60 දක්වා අඩුවෙලා. මොකද අපි මයිලත්තමඩු, මාදවනෛ ප්‍රදේශයෙන් විතරක් දවසකට කිරි ලීටර් 6000ක් නිෂ්පාදනය කළා. අපි අවුරුදු 60කට වැඩි කාලයක් පරම්පරා ගාණක් තිස්සේ කිරි ගොවිතැන් කරගෙන මෙහෙ ජීවත් වෙනවා. බලධාරීන් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙනකම් අපි අපේ සාමකාමී සටන දිගටම කරගෙන යනවා.
කිරි ගොවීන්
මයිලත්තමඩු
