මම ඉපදුනේ මාතලේ. මේ ඉඩම නිසයිමයි මං කේපාපිලව් ආවේ. මට අක්කර 25ක ඉඩමක් තියෙනවා, ඒකේ අඹ ගස් 22ක් තිබුණා, අක්කර 18ක පොල්ගස් තිබ්බා, ගෙයක්, ළිඳක් තිබ්බා. කළපුව පැත්තෙ ලොකු සියඹලා ගහක් තිබ්බා. දැන් හමුදාව එතැන පදිංචි වෙලා. අපි රජයට කිව්වා, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කෙරුවා. ඒත් තව වෙනතුරු අපේ ඉඩම් අපිට ආපහු දුන්නේ නැහැ. අද දෙන්නං හෙට දෙන්නං කියලා පොඩි එවුන්ව රවට්ටන විදියට අපිව රවටන්නේ.
අපි රජයෙන් ඉඩම් ඉල්ලන්නේ නැහැ. අනුන්ගේ ඉඩමක් ඉල්ලන්නේ නැහැ. මගේ ඉඩමේ මුල් ඔප්පුව මං ගාව තියෙනවා. මම ඉල්ලන්නේ මට අයිති මගේ ඉඩම. මගේ ඉඩම තිබුණා නම් මගෙ දරුවො ටික එක්ක ඉන්න තිබුණා. මගේ ඉඩම දුන්න නම් මට දවස් පඩියට රටකජු ඉන්දවන්න යන්න ඕනි නෑ. මගේ ඉඩමේ ආදායමෙන් මට ජීවත් වෙන්න පුළුවන්. මට දවසකට රුපියල් 150යි ලැබෙන්නේ රටකජු ඉන්දලා. මට ගමන් වියදමම යනවා රුපියල් 100ක් විතර. අපි දැන් ජීවත් වෙන්නේ කුලී ගෙදරක. ඒකේ සෙවිලි තහඩුව කැඩිලා. නොතෙමී නිදාගන්න තැනක් නැහැ. හරිහැටි වැසිකිළියක් නැහැ. අපිට ගෙයක්, වැසිකිළියක්, වතුර නැති නිසා ජීවිතයේ මූලික දේවල් කිසිම දෙයක් අපිට නැහැ.
දුප්පත් මිනිස්සු විදියට අපි හැමදාම මහන්සි වෙන්නේ අපේ ජීවිත සාමකාමීව සතුටින් ගත කරන්න අක්කර 25ක ඉඩමක අයිතිකාරයෙක් වුණ මට දැන් මගේ ඉඩමෙන් පොල් ගෙඩියක්වත් කඩා ගන්න අයිතියක් නැහැ.
කමලාවල්ලී
කේපාපිලව්, මුලතිව්
