අපේ ඉඩම ඒ කාලේ සීයා රුපියල් 25කට අරන් තියෙන්නේ. ඒකේ ඔප්පුව තාමත් අපි ළඟ තියෙනවා. පොල්ගස්, තල්ගස්, අඹ ගස් සහ ළිඳක් තිබුණ අක්කර 3ක ඉඩමක් අපිට තියෙනවා. දැන් හමුදාවෙන් ඒකට වැටක් ගහලා වහලා දාලා ඇතුළුවීම තහනම් කරලා. 1990 දී අපි මුලින්ම අවතැන් වෙලා මුල්ලිවයිකාල් ගියා. 1998දී ආපහු අපේ ඉඩමට ආවා. 2009 දී අපි ආයෙත් අවතැන් වෙලා සෙට්ටිකුලම් කඳවුරට ගිහින් ඉඳලා 2011 දී දැන් මේ පදිංචි ඉඩමට ආවා. කඳවුරුවල අපිට මූලික දේවල් පවා හරියට නැතුව කූඩු කරපු කුරුල්ලෝ වගේ හිටියේ. අපිට කෑම සහ සමහර දේවල් දුන්නා තමයි. හැබැයි ඒ කිසිම දෙයක් අපේම තැනක ඉඳන් කැඳ කෝප්පයක් බොන එකට සමාන කරන්න බෑ.
දැනට අපි පදිංචි වෙලා ඉන්නේ පොඩි ඉඩම් කෑල්ලක නිසා සමහර වෙලාවට රෑට නිදා ගන්න බැහැ අහළ පහළ ගෙවල්වල සද්ද බද්ද නිසා. ඉඩම නැවත ලබා දෙන්න කියලා අපි උද්ඝෝෂණ, උපවාස කළා. අම්මා මැරෙන්න ඉස්සෙල්ලා ඒ ඉඩම දකින්න අන්තිම කැමැත්තක් තිබ්බා. ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. මමත් ආසයි මං මැරෙන්න කලින් අපේ ඉඩම දකින්න. හැබැයි ඒක කරන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. අපේ ඉඩම හරි සරුසාරයි. අපිට ඉඩමෙන් ආදායමක් තිබුණා. අපි ජීවත් වුණ ඉඩම බලන්න අපි ආස වුණත් දැන් අපිට ඒකට ඉඩ දෙන්නේ නැහැ.
දැන් ඉඩමේ තිබුණ දේවල් නටඹුන් වෙලා ඇති. ඒත් ඒ පොළවේ, ඒ පස්වල අපේ පුංචි කාලේ මතකයන් එකතු වෙලා තියෙන නිසා ඒ පොළව දකින්න තියෙන ආසාව මගේ හදවතේ කොනක තියෙනවා.
තිලකේෂ්වරී
වට්ටුවාක්කල්, මුලතිව්
