රාජ්‍ය නිළධාරී කණ්ඩායමක් ඉඩම් මංකොල්ලයක්‍ කරනවා – සෝමසිරි 

Somasiri LG

මේ ඉඩම් ප්‍රශ්න පටන් ගන්නෙ 2009 නාවික හමුදාව ඇවිත් වගා කරපු ඉඩම් අක්කර 896ක් අල්ලගත්තා. 2009.02.17 රෑ තුවක්කු අරගෙන කළු ඇදගෙන ආපු කණ්ඩායමක් රාගම්වෙල පදිංචි වෙලා හිටිය මිනිස්සුන්ට ගහලා ගෙවල් ගිණි තියලා එලෙව්වා. මිනිස්සු ඇදිවත පිටින් තමයි ජීවිත බේරගෙන ගියේ. ඊට පස්සේ එක්කෙනෙක්ටවත් එන්න දුන්නේ නැහැ. පොලීස්, හමුදා ආරක්ෂාව දාගෙන මේ ඉඩම් අල්ලගත්තා. අපි ඇහුවා ඇයි අපිට අපේ ඉඩමට යන්න දෙන්නේ නැත්තේ කියලා. එයාලා කිව්වා ගෙවල්වලට ගිනි තියලා මිනිස්සුන්ට ගහලා යම් සිදුවීමක් වෙලා තියෙනවා, ඒ සම්බන්ධව පරීක්ෂණ වගයක්  කරනවා, ඒ නිසා යන්න දෙන්න  බැහැ කියලා. අපි මානව හිමිකම් කොමිසමට, උසාවියට ගියා. පස්සේ මානව හිමිකම් කොමිසම නිර්දේශයක් දුන්නා මේ ඉඩම් මිනිස්සු පාවිච්චි කරපු ඉඩම්, ඒ නිසා මේ මිනිස්සුන්ට ඒවාට යන්න දෙන්න කියලා. ඒත් යන්න දුන්නේ නැහැ.

ඊට පස්සේ යහපාලන ආණ්ඩුව යටතේ කැබිනට් තීරණයක් ගත්තා ඉදිකිරීම් කරපු අක්කර 25 හැර ඉතිර ඉඩම් මිනිස්සුන්ට දෙන්න කියලා. ඒත් ඉඩම් දුන්නේ නැහැ. අපි දිසාපති ඇතුලුව හැමෝම එක්ක සාකච්ඡා කළා කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා. ඒත් ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පස්සේ අපි තීරණය කළා කැබිනට් තීරණය තියෙන නිසා අපි අපේ ඉඩම්වලට යනවා කියලා. අපි 2015.03.27 දා ඉඩම් ඇතුළට ආවා. ඊට පස්සේ අපි ලොකු කරදරවලට මුහුණ දුන්නා. අපිට කෑම පවා ගේන්න දුන්නේ නැහැ ඇතුළට. 2015 තුන්වෙනි මාසෙ ඉදන් මේ වෙනකල් ඉන්නවා. නාවික හමුදාවෙන් අත්පත් කරගෙන ඉන්න අක්කර 896 එහෙම්ම තියෙනවා. ඒක දුන්නේ නැහැ. ගුවන් හමුදාවෙන් පාලනය කරපු අක්කර 65න් ඉදිකිරීම් කරපු අක්කර 25ක් ගුවන් හමුදාව තියා ගත්තා.

ඒ එක්කම තව ඉඩම් ජාවාරමක්‍ යනවා ශාස්ත්‍රවෙල. රාජ්‍ය නිළධාරී කණ්ඩායමක් ඉඩම් මංකොල්ලයක්‍ කරනවා. ඉඩම් කොමසාරිස්, ප්‍රාදේශිය ලේකම්, වනජීවී නිලධාරීන්  සම්බන්ධයි මේකට. එයාලා කියනවා විකල්ප ඉඩම් දෙනවා කියලා. විකල්ප ඉඩම් දෙන්න කියලා අක්කර 153 ක් පාරේ බටහිර පැත්තෙන් මැනලා  වෙන්කරගත්තා. රාජ්‍ය නිලධාරීන් සහ ඒ අයගේ පවුල්වල අය වටිනා පරිසර පද්ධතියක් තියෙන රක්ෂිතයක් තමයි මෙහෙම සුද්ද කරලා අල්ලගත්තේ. මේ ගැන නඩුවක් පැවරුවා. උසාවි නියෝගයක් ලැබුණා ඒවා අයිති වනජීවී එකට මිසක් මිනිසුන්ට නෙමේ කියලා. එහෙම නඩු තීන්දුවක් තියෙද්දීත් ඉදිකිරීම් වෙනවා. රාගම්වෙල මිනිස්සුන්ගේ ඉඩම් නිදහස් කරන්න කියලාත් අධිකරණ නියෝගයක් තියෙනවා. ඒත් ඉඩම් නිදහස් කළේ නැහැ. 

ශාස්ත්‍රවෙල 75ක් පදිංචිවෙලා හිටියා. දැන් ඒ 75ටම ඉඩම් නැහැ. ඒ එක්කම පාරේ අනික් පැත්තේ බලපත්‍ර ඉඩම් තියෙන 13ක් හිටියා. එයාලාටත් නැහැ. දැන් ඉන්න ජනාධිපති කිව්වා මේවා අරගෙන ව්‍යාපාරිකයන්ට දෙන්න කියලා. එයා ප්‍රාදේශීය ලේකම්ට කිව්වා මේගොල්ලන්ට හෙක්ටයාරය ගාණේ දෙන්න කියලා. හැබැයි කොහෙන්ද කිව්වේ නැහැ. ප්‍රාදේශිය ලේකම් මිනිස්සුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ගත්තා රජයට වාසි වෙන විදියට.

ඉඩම් නැති වුණාට පස්සේ අපි පටන් ගත්ත අරගලය ඉස්සරහට ගෙනියන්න අමාරු වුණා. අපි අපිට වුණ අසාධාරණය ගැන මිනිසුන්ව දැනුවත් කළා. සල්ලි දීලා අපේ මේ අරගලය නවත්තන්නත් හැදුවා.

සෝමසිරි 
පානම

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *