අපි යටත් විජිත කාලේ ඉන්දියාවෙන් ගෙනාවේ වහල්ලු විදියට දේශපාලකයෝත් කැමති අපිව වහල්ලු විදියටම තියාගන්න – තංගරාජ් සසිකුමාර්

Thangaraj Sasikumar Kotagala

මමයි මගේ බිරිඳයි දෙන්නම වැඩ කරන්නේ වත්තේ. අපේ මිනිස්සු වසර 200කට වැඩි කාලයක් ජීවත් වෙලා හිටියට අපි සුළුතර මිනිස්සු නිසා මේ රටේ නීතියේ ලියලා තියෙන ගොඩක් අයිතිවාසිකම් අපිට භුක්ති විඳින්න බැහැ. අපි අවුරුදු 200ක් ජීවත් වුණත් අපිට අපේම කියලා ඉඩමක් නැහැ. ඉඩම් අයිතිය නැති නිසා රජයෙන් දෙන ගොඩක් ප්‍රතිලාභ අපිට ලබාගන්න බැහැ. අපි ව්‍යාපාරයක් පටන්ගන්න බැංකුවෙන් ණයක් ගන්න ඕනේ වුණත්, ණය ගන්නකොට පෙන්නන්න වත්කම් (ඉඩම්) නැති නිසා අපිට ණය දෙන්නේ නැහැ.

අපිට ලිපිනයක්වත් නැහැ. මේ වත්තේ පදිංචි පවුල් 365ටම තියෙන්නේ එකම ලිපිනය. අපිට වෙනම ලිපිනයක් නැති නිසා අපේ ගෙවල්වලට විදුලිය ගන්න ඕනේ වුණත් වතු කළමනාකාරීත්වයෙන් ලියුමක් ගන්න වෙනවා. අපිට ඉඩම් අයිතිය ලැබුණොත් අනිත් ඔක්කොම අයිතිවාසිකම් ලැබෙනවා. 

අපිට මූලික අයිතිවාසිකම්වත් නැහැ. මම දැන් පදිංචි වෙලා ඉන්න ගෙදර වතු කළමනාකාරිත්වයෙන් අවසර අරගෙන මගේ පඩියෙන් හැදුවේ. නමුත් අපිට අද මෙතැනින් යන්න කිව්වොත් අපිට ඉඩම් අයිතියක් නැති නිසා යන්නම වෙනවා. 

අපි යටත් විජිත කාලේ ඉන්දියාවෙන් ගෙනාවේ වහල්ලු විදියට. දේශපාලකයෝත් කැමති අපිව වහල්ලු විදියටම තියාගන්න. අපේ ලේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු පඩිය ගන්නත් අපිට හැම වෙලාවකම උද්ඝෝෂණ කරන්න වෙනවා. කොරෝනා කාලේ හැමෝම ඇඳිරි නීතිය යටතේ හිටියත් ඒ කාලෙත් අපිට වැඩ කරන්න සිද්ධ වුණා. අපි එදා මේ රටේ ආර්ථිකය වැටෙන්න නොදී තියාගත්ත මිනිස්සු. මේ රටේ අනිත් මිනිස්සු අපිට සහයෝගය දීලා අපේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා නම් වෙනසක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

තංගරාජ් සසිකුමාර් 
කොටගල

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *